සම්පත් පැතිකඩ - නගර සභා ප්‍රදේශයේ පිහිටි පූජණීය ස්ථාන

බෙල්ලන්විල රාජ මහා විහාරය

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිව යියි.දෙවනපෑතිස් රජු සමයේ අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කරන ලද ,ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂීණ ශාඛාවෙන් පැණ නැගුණු දෙතිස් මහා බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කළ බව සිංහල බෝධීවංශයේ සදහන් වේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙහි පැවති ශ්‍රී විභූතිය,පෘතුග්‍රීසීන් විසින් විනාශ කිරීම නිසා බෙල්ලන්විල වනගත පෙදෙසක් බවට පත්වී ඇති බවත්,සියවස් දෙකක පමණ කාලයක් බෙල්ලන්විල වනගත ජනශුන්‍යව පැවති බව ඉතිහාසයේ සදහන් වේ.විදේශිකයන්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව අදුරු කාලපරිචඡේයක පැවති බෙල්ලන්විල 1850 වර්ෂයේදී නැවත සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ තේන්ගොඩගෙදර හිමිපාණන්ට ය.ලන්දේසීන් අප රට පාලනය කරන අවදියේ ප්‍රවාහන සදහා යොදාගෙන ඇත්තේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය අසළින් වැටී ඇති කටු ඇළයි.අදත් දක්නට ඇති මෙම කටු ඇළ හරහා කළුතර සිට කොළඹ දක්වා ඔරු පාරු උපයෝගි කරගනිමින් ගමන් ගත් බව සදහන් වේ.

මේ කාලයේ තේන්ගොඩගෙදර හිමිපාණන් වහනසේ තොටියෙකුත් සමඟ පැපිලියාන දෙසට ඔරුවකින් ගමන් කරද්දී වනපෙතින් හේවිසි හඩක් ඇසී විශ්මයට පත්ව ඔරුවෙන් බැස හේවිසි නාදය ඔස්සේ වනය පීරමින් ඉදිරියට ගමන් කරද්දී බෙල්ලන්විල ඓතිහාසික බෝ සමිදුන් දර්ශනය වී ඇති අතර ගැමියන් කැදවා වනය හෙලි පෙහෙලි කර එම ඓතිහාසික බෝ සමිදු මතුකරගෙන ඇත.බෙල්ලන්විල රාජමහා වෙහෙරට නැගෙනහිරින් දෙසින් පිහිටි වෙල්යාය මැද බෙල්ලන් සිටි විලක් පැවති හෙයින් මෙම විල අයත් ග්‍රාමයට බෙල්ලන්විල යන නාමය පටබැදි බව පැරැන්නන්ගේ මතයයි.බෙලිවනය,කුඹුරුයාය නිසා බෙල්ලන්විල නාමය ඇතිවී ඇති බව මතයයි.

තේන්ගොඩගෙදර හිමිපාණන් බෙල්ලන්විල පුදබිම සොයා ගැනීමෙන් පසු එහි විහාර විහාරාධිපති ධූරය දැරූ අතර,ඉන්පසු විහාරාධිපති ධූරයට පත්වූවෝ නම්,උඩුගම්පල රත්නපාල නායක ස්වාමීන් වහන්සේ උඩුගම්පල ශ්‍රී ධම්මක්ඛන්ද ස්වාමීන් වහන්සේ ,අභිධම්මිකාචාර්ය වෑබඩ ශ්‍රී සංඝරන ස්වාමීන් වහන්සේ,අස්ගිරියේ දේවරක්ඛිත ස්වාමීන් වහන්සේ,බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේ සහ වර්තමාන විහාරධිපති බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ය.

1946 දී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් විහාරධිපතිධූරයට පත්වීමෙන් පසුව නූතන ස්වර්ණමය යුගය අරුඹුණු බව සදහන් කළ හැකිය.උන්වහන්සේ බෙල්ලන්විල ග්‍රාමයේ විහාරස්ථානයන් අතර සබඳතාවය ගොඩනගමින් විහාරස්ථානයේ දියුණුවට සුවිශේෂ මෙහෙවරක් සිදුකරන්නට සමත් වූහ.

පොළොන්නරු ජේතවනාරාමයේ අනුරුවක් අනුව ගොඩනැගුන විහාර මන්දිරයත්,දෙමහල් ධර්ම ශාලාව,දේව මන්දිරය,සංඝාවාසය,සීමා මාලක,ධාතු මන්දිරය,විහාරස්ථානයට ඇතුල්වන විශාල මකර තොරණ ආදිය ඉදි කිරමින් බෙල්ලන්විල රාජ මහා විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ සෝමරතන නායක ස්වාමීන් වහන්සේ යි.